ම් අදනම් වහිවි වගේ.....මේ වගේ නොයේකුත් ආකාරයේ අනාවැකි අපේ පැරණි සමාජයේ වගේම වර්තමානයෙත් දක්නට ලැබෙනවා..ඉතින් ඒ ගැන ටිකක් කතා කරන්නයි අද සුදානම.......
සාම්ප්‍රදායික දැනුම භාවිතයෙන් දිගුකාලීන කාලගුණ තත්ත්වය පිළිබඳව අනාවැකි පැවසීම අපේ රටේ ද දැකිය හැකි වේ. එහෙත් මේ දැනුම අප අතරින් ක්‍රමයෙන් ඈත් වෙමින් යමින් පවත්නා බව ගොවීන් සමඟ සාකච්ඡා කරන විට පැහැදිලි වන කරුණකි. ඊට විවිධ හේතු බලපා ඇති බව දැකිය හැකි ය. එක් හේතුවක් වි ඇත්තේ මේ සාම්ප්‍රදායික අනාවැකි පවසන නිරීක්‌ෂණ හෙවත් දර්ශක වර්තමාන පාරිසරික වෙනස් වීම් හමුවේ ඇතැම් විට වෙනස් වී තිබිය හැකි වීම නිසා ඒවායේ නිරවද්‍යතාව සම්බන්ධව යම් යම් ගැටලු ඇති වීම ය. මේ තත්ත්වය ලෝකයේ වෙනත් රටවලින් ද වාර්තා වී ඇත. මේ තත්ත්වය පිළිබඳව අප 2013 ජුනි මස 19 වන දින විදුසර පුවත්පත ඔස්‌සේ සාකච්ඡා කළේ සාම්ප්‍රදායික දැනුම යොදාගෙන දිගුකාලීන කාලගුණ අනාවැකි පැවසීම පිළිබඳව විමසිය යුතු ය යන අදහස ස්‌ථාපිත කරමිනි.
අද අප සටහන් කිරීමට අදහස් කරන්නේ මේ දිගුකාලීන කාලගුණ අනාවැකි පවසන සාම්ප්‍රදායික ක්‍රම භාවිතය පිළිබඳව මේ වන විට සිදු කෙරෙමින් ඇති අධ්‍යයනයක් ම`ගින් පැවසෙන කරුණු පිළිබඳව ය.
සාම්ප්‍රදායික නිරීක්‌ෂණ සම්බන්ධ අධ්‍යයනයක්
ශ්‍රි ලංකා හරිත ව්‍යාපාරයේ දේශගුණ විපර්යාස පිළිබඳ වැඩසටහන ම`ගින් මේ තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරීම ආරම්භ කරන ලද්දේ 2013 වර්ෂයේ දී ය. මෙහි අරමුණ වූයේ සාම්ප්‍රදායික දැනුම යොදාගනිමින් දිගු කාලීන ව වැදගත් වන කාලගුණ අනාවැකි පැවසීමේ ඇති නිරවද්‍යතාව පරීක්‌ෂා කිරීමයි. ඒ සඳහා පාදක කරගන්නා ලද්දේ කෘෂිකර්මය සඳහා වර්ෂා ජලය යොදාගන්නා ප්‍රදේශ කිහිපයකි. ඊට හේතුව වූයේ ඒ ජනතාව ස්‌වකීය කුඹුරු හා වෙනත් වගා කටයුතු සඳහා ඔවුන් ගේ ප්‍රදේශයට වැටෙන වැසි ජලය පමණක් ම උපයෝගී කරගැනීමයි. මෙහි දී දිගුකාලීනව වැදගත් කාලගුණ අනාවැකි තෝරාගන්නා ලද්දේ ඒවා සාර්ථක නම්, ඒ මත පදනම් ව ස්‌වකීය වගා කටයුතු තීරණය කිරීම මේ ජනතාවට ඉතා වැදගත් වන නිසා ය. (මහා වාරිමාර්ග ම`ගින් ජලය සැපයෙන ප්‍රදේශවල ජනතාව ස්‌වකීය කෘෂිකර්මය සඳහා භාවිත කරන්නේ ඔවුන් ගේ ප්‍රදේශයෙන් බොහෝ ඈත පිහිටි ජල පෝෂක ප්‍රදේශයකට ලැබෙන වර්ෂා ජලය විය හැකි බැවින් ඔවුන් මේ නිරීක්‌ෂණ මත රඳා පැවැතීම අවම වේ.)
මේ සඳහා යොදාගත හැකි සාම්ප්‍රදායික හෙවත් පාරම්පරික දැනුම පදනම් කරගත් නිරීක්‌ෂණ හඳුනාගන්නා ලද්දේ මේ වන විට ලේඛනගත ව ඇති නිරීක්‌ෂණ යොදාගනිමිනි. ඒ සඳහා පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය ම`ගින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රකාශන කිහිපයකින් ලබාගත් නිරීක්‌ෂණ වැදගත් බව හඳුනා ගන්නා ලදි. මෙහි දී වැඩි අවධානයක් යොමු කරන ලද්දේ ශාක හා සතුන් ආශ්‍රිත නිරීක්‌ෂණ සම්බන්ධව ය. (මේ නිරීක්‌ෂණ මේ ලිපිය සමඟ ඇති සටහනේ සඳහන් වේ.)
මේ අධ්‍යයනයේ දී පරීක්‌ෂාවට ලක් කරන ලද නිරීක්‌ෂණ අතර ඇතැම් ශාකවල මල් පිපීමේ හා ගෙඩි ඇති වීමේ සුලබතාව වැනි කරුණු වැදගත් විය. ඉන් එකක් වූයේ දිවුල්, බෙලි, දඹ ආදි ගස්‌වල අධික ලෙස ගෙඩි ඇති වීම එළැඹෙන කන්නයේ අධික වර්ෂාවක් ලැබෙන බවට නිමිත්තක් ය යන්න ය. අදාළ සමීක්‌ෂණයට ලක් කරන ලද ප්‍රජාව අතර ඇතැම් නිරීක්‌ෂණ පිළිබඳ ව තිබුණේ අඩු අවධානයක් බව පැහැදිලි විය.
මෙහි දී 2013 අගෝස්‌තු මාසයේ දී සිදු කරන ලද සමීක්‌ෂණයේ දී සැම ප්‍රදේශයකින් ම පාහේ වාර්තා වූ කරුණු අතර පැහැදිලි කරුණක් වූයේ අදාළ ප්‍රදේශවල දිවුල් ගස්‌වල දැකිය හැකි ගෙඩි ප්‍රමාණය කැපී පෙනෙන ආකාරයෙන් අඩු වූ බවයි. ඒ අනුව 2013/14 වර්ෂයේ දී අධික වර්ෂාවක් අපේක්‌ෂා කළ නොහැකි බව සිතිය හැකි විය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබාගත් වර්ෂාපතන දත්ත අනුවද 2013/14 මහ කන්නයේ ආරම්භක සමයේ දී පැවැති වර්ෂාපතනය සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු බව තහවුරු විය. හරිත ව්‍යාපාරය 2013 දී ලබාගත් කාලගුණ දත්ත අනුව අධ්‍යයන ප්‍රදේශ සියල්ලේ ම පාහේ වර්ෂාපතනය සාමාන්‍ය වර්ෂාපතනයට වඩා අඩු වූ බවක් පෙනී ගියේ ය. (අද වන විට අපේ රටේ වියළි කලාපයේ සැලකිය ප්‍රදේශයක් දැඩි නියඟයකින් බැට කමින් තිබන්නේ පසුගිය 2013/14 ඊසානදිග මෝසම් වැස්‌ස ප්‍රමාණවත් තරමින් නො ලැබුණු නිසා ය. මේ නිසා මේ වර්ෂයේ යල කන්නය ද බොහෝ ප්‍රදේශවල සීමා සහිත බිම් ප්‍රමාණයකට සීමා වී ඇත.)
මීළඟ කන්නයේ වැස්‌ස කෙබඳු විය හැකි ද?
මේ නිරීක්‌ෂණ පිළිබඳ වැදගත්කම සලකා උක්‌ත අධ්‍යයනය 2015 වර්ෂයේ දී ද සිදු කිරීමට ශ්‍රි ලංකා හරිත ව්‍යාපාරය විසින් තීරණය කරන ලදි. මේ අතරින් වඩාත් පැහැදිලි ව වාර්තා වී ඇති නිරීක්‌ෂණයක් වන්නේ ප්‍රදේශ රැසක දැකිය හැකි දිවුල් ගස්‌වල මේ වන විට ගෙඩි අධික ව දැකිය හැකි බව ය. එසේ ම, බෙලි හා සියඹලා වැනි ශාකවල ද අධික ගෙඩි ප්‍රමාණයක් දැකිය හැකි බව තවත් ප්‍රදේශවලින් වාර්තා වී ඇත. කටුපිල ශාකවල අධික ලෙස මල් පිපීම ද මෙවැනි වාර්තා වූ නිරීක්‌ෂණයකි. අනෙක් අතට යල් හුළඟ නමින් හඳුන්වනු ලබන වියළි සුළඟ ද මෑත දිනවල අදාළ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.
මේ පාරම්පරික දැනුමේ නිරීක්‌ෂණ හා සම්බන්ධ කාලගුණ අනාවැකිවලට අනුව ඉන් පැවසෙන්නේ ඉදිරියේ දී එළැඹෙන්නේ අධික වැසි සහිත සමයක් බවයි. කෙසේ වෙතත්, ඉදිරියේ දී ඇති වන්නේ නියඟය සහිත සමයයක් විය හැකි බව මෑත කාලයේ දී වාර්තා වූ කාලගුණ විද්‍යාත්මක අනාවැකි ම`ගින් පෙන්වා දී තිබිණි. විශේෂයෙන් එල් නිනෝ තත්තත්වයක් හමුවේ නියඟයක් ඇති විය හැකි බව පෙන්වා දී තිබිණි. කෙසේ වෙතත්, එල් නිනෝ තත්ත්වය ඇති වීමේ අවස්‌ථාවේ යම් අඩු වීමක් ඇති බව ද පසුව වාර්තා විය.
මේ කරුණු විමසා බැලීමේ දී මේ පාරම්පරික නිරීක්‌ෂණ මත පදනම් වූ අනාවැකි සඳහා බලපාන නිරීක්‌ෂණවල සත්‍යතාව පරීක්‌ෂා කිරීම සඳහා මේ වර්ෂයේ දී අවස්‌ථාවක් ලැබී ඇති බව පැහැදිලි ය. මේ නිසා ඉදිරි අන්තර් මෝසම හා ඊසානදිග මෝසම කෙසේ වනු ඇති ද යන්න පිළිබඳ ව විමසිල්ලෙන් පසු වීම හරිත ව්‍යාපාරයේ අධ්‍යයනයේ මීළඟ පියවර වේ.
සාම්ප්‍රදායික දැනුමේ විශ්වසනීයත්වය
යම් හෙයකින් අදාළ පාරම්පරික නිරීක්‌ෂණ ම`ගින් පෙන්වා දෙන ආකාරයට, අධික වැසි සහිත සමයයක් එළැඹෙන්නේ නම්, උක්‌ත නිරීක්‌ෂණ පිළිබඳ ව හා ඒවා භාවිතය පිළිබඳ ව වැඩි අවධානයෙන් යොමු කිරීමට ගොවීන් (විශේෂයෙන් තරුණ ගොවීන්) යොමු වීම වැසි දිය මත පමණක් පදනම් ව ගොවිතැන් කරන ජනතාව සිටින ප්‍රදේශවලට ගැලපෙන බව පැහැදිලි ය. එසේ ම මෙවැනි එක් පාරම්පරික නිරීක්‌ෂණයක් මත පදනම් වීම වෙනුවට නිරීක්‌ෂණ ගණනාවක් යොදාගැනීමට ඇති හැකියාව ද වැදගත් ය.
විශේෂයෙන් ම මේ දැනුම පද්ධතිය වැඩිහිටි පරපුරත් සමඟ අමතක ව යන්නක් වන බැවින් එහි සාර්ථකත්වය මත එය භාවිත කළ හැකි නම් එය කෘෂිකර්මයේ තිරසර බවට කිසියම් සහායයක් සපයනු ඇත.
අනෙක් අතට මේ නිරීක්‌ෂණ පිළිබඳ ව සැලකිල්ලෙන් විමසා බලන විට, වියළි කලාපයේ සැම ප්‍රදේශයකම සමාන තත්ත්වයක් ඇති බවක් නො පෙනේ. මේ ඇතැම් නිරීක්‌ෂණ සාපේක්‌ෂ ඒවා වීම ද විමසා බැලිය යුතු තත්ත්වයකි. එසේ ම එක ම නිරීක්‌ෂණයක් මත පදනම් ව පැවසෙන අනාවැකියේ පවා වෙනස්‌කම් දැකිය හැකි බව පෙනේ. ඇතැම් අවස්‌ථාවක දී එක ම ශාකයක මල් පිපීම හා ගෙඩි ඇති වීමේ බහුලතාව මත පැවසෙන අනාවැකිය පවා වෙනස් වූ අවස්‌ථා දැකිය හැකි ය. මේවා ද තවදුරටත් පරීක්‌ෂාවට ලක් කළ යුතු බව පැහැදිලි ය.
සටහන:
පාරම්පරික දැනුම පදනම් කරගත් දිගුකාලීන කාලගුණ අනාවැකි
පාරම්පරික දැනුම භාවිත කරමින් දිගු කාලීන ව වැදගත් කාලගුණ අනාවැකි පැවසීම සඳහා යොදාගන්නා නිරීක්‌ෂණවල සාර්ථකත්වය පරීක්‌ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය මේ වන විට යොදාගන්නා නිරීක්‌ෂණ මේවා ය.
01. ඇසටු බෝ සහ කටුපිල ගස්‌වල මල් අධික ලෙස පිපුණ හොත් ඉදිරි කන්නයේ දී හොඳින් වැසි ලැබේ.
02. මදටිය ගස්‌වල මල් අධික ලෙස පිපුණ හොත් නියඟයක් නියත ය.
03. දිවුල්, කරඹ හා දඹ ගස්‌වල ගඩා ගෙඩි අවාරේ හට ගත්තොත් එළඹෙන සමයේ වැහිඵල ඉතා ම අඩු ය.
04. දිවුල්, කරඹ, දඹ හා බෙලි ගස්‌වල ගස් පුරා බිහි බැන්දා වාගේ ගෙඩිවලින් පිරී තිබීම එන කන්නයේ අධික වර්ෂාවක් ලැබෙන බවට නිමිත්තකි.
05. කිරලා වැව් කන්දට බර ව තාවුල්ලේ බිත්තර දැමුව හොත් ලැබෙන වර්ෂාව ඉතා අඩු වේ. තාවුල්ල මැද ප්‍රදේශයේ බිත්තර දැමුව හොත් සාමාන්‍ය වර්ෂාවක් බලාපොරොත්තු විය හැකි ය. එහෙත් තාවුල්ලේ කෙළවර වන රොදට ආසන්න ව බිත්තර දැමුව හොත් ලැබෙන වර්ෂාව ඉතා අධික ය.
06. වඩු කුරුල්ලා ගේ කූඩු බැඳීම සිදු කරන්නේ වැවේ පිරුණු ජල මට්‌ටම ආසන්න ව හෝ වැව් තාවුල්ලේ කීරිය, අන්දර වැනි ගස්‌වල යටි (පහළ) අතුවල නම් ඒ කන්නයේ වැසි ලැබෙන්නේ අඩුවෙනි. අනෙක් අතට වැවේ පිරුණු ජල මට්‌ටමට ඉතා ඉහළින් හෝ වැව් තාවුල්ලේ ගස්‌වල ඉහළ අතුවල කූඩු බැඳ ඇත්තේ නම් ඒ කන්නයේ දී වැසි හොඳින් ලැබේ.
07. කපුටු කූඩුවෙන් බිජු විශාල ප්‍රමාණයක් බිම හෙළා තිබීම හෝ කපුටු දෙන තනි පැටවකුට ආහාර කැවීම ඉදිරියේ එන නියඟයක පෙරනිමිත්තකි.
08. වෙල් කකුළුවන් පොළොවේ හාරන සිදුර පොළොව යටට සෑදීමෙන් පසු එය පොළවට සමාන්තරව පමණක් යොමු වී ඇත්නම්, වැසි ප්‍රමාද වීම හෝ අඩු වැසි ලැබීම සිදු වේ. එසේ ම සිදුර පොළොවට සමාන්තරව ගොස් ඉන් පසු ඉහළට යොමු වී නම් වැස්‌ස ඉතා ආසන්න ය.
ඔබත් මේ කිසියම් නිරීක්‌ෂණයක් දුටුවේ නම් අදාළ නිරීක්‌ෂණ අංකය, ප්‍රදේශය හා දිනය හරිත ව්‍යාපාරය වෙත දන්වා එවිය හැකි නම් මැනවි. ඔවුන් ගේ තැපැල් ලිපිනය, දේශගුණික විපර්යාස පිළිබඳ වැඩසටහන, ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය, 110/ 18 ඒ, 16 වන පටුමග, වික්‍රමසිංහපුර, බත්තරමුල්ල වේ. ඊමේල් ලිපිනයsihildiyatha@gmsl.lk
ධනේෂ් විසුම්පෙරුම