රූපාලංකරණ සැත්කම්
විද්‍යාත්මක පදනමක් තිබේ ද?
අප්‍රිකාවේ Zambei ගංගාවේ ඉවුරක වෙසෙන බනොකා නැමති ගෝත්‍රයේ යමකු ගේ ඉදිරිපස දත් ගළවා නැත්නම් ඔහු සැලකෙන්නේ කැත පුද්ගලයකු ලෙසිනි. එනිසා ම ඔහු ගේ ගෝත්‍රයේ සිටින රූපලාවන්‍ය ශිල්පීන් ශිල්පිනියන් ගේ මූලික කාර්යය වූයේ තමන් වෙත එන අය ගේ දත් ලස්සනට ගලවා දැමීමයි. අද අපේ රටේ සිටින ඇතැම් අය මේ ලෙස දත් ගලවාගන්නේ නැතත් ඊට වඩා ලොකු විපත් ශරීරයටත් ආර්ථිකයටත් කරගනිති. ලස්සන වන්නට ගොස් ජීවිතය අහිමි කරගත් වෛද්‍යවරිය ගේ කතාව අද කාටත් රහසක් නො වේ. මේ රූපලාවන්‍ය කටයුත්තකට යොමු වීමෙන් ජීවිතයෙන් වන්දි ගෙවූ පළමු තැනැත්තිය නො වේ. මීට පෙරත් මේ විදිහේ එන්නත් විෂ වීමෙන් හෝ සැත්කම් වැරැදීමෙන් හෝ කීප දෙනෙක් මරු දුට හ. මේ ලෙස වටිනා ජීවිත විනාශ වී යැමට හේතුව රූපාලංකරණයේ වරද ද? නොඑසේ නම් රූපාලංකරණය වැරැදි ආකාරයට වටහාගැනීම ද? මේ ප්රශ්නය පැති කිහිපයකින් ම විග්රහ කරලීමට පුළුවන. එලෙස කරන විග්රහයක දී මතු වන මූලික ම ප්‍රශ්නයක් වන්නේ රූපාලංකරණය නැමැති විෂයය විද්‍යාත්මක දෙයක් ද යන්නයි. මන්ද යත් මෙලෙස මේ ශල්‍යකර්මවල නියෑළෙන බොහෝ දෙනා පවසන්නේ ඒවායේ විද්‍යාත්මක පදනමක් පවතින බවයි. අනෙක් අතට පසුගිය කාලය තුළ රූපාලංකාර සැත්කම් කරගෙන මිය ගිය කීප දෙනකු ම අදාළ සැත්කම් කරවාගෙන තිබුණේ බටහිර වෛද්‍යවරුන් වෙතිනි. මෙනිසා ම කෙනෙකු තුළ මේ දේවල විද්‍යාත්මක පදනමක් ඇතැයි යන අදහස මතු වන්නට පුළුවන. එම බටහිර වෛද්‍යවරුන් ගෙන් සමහරකු සැබැවින් ම බටහිර වෛද්‍ය උපාධි ලබා ඇතැම් විට පිටරටවල පවා සේවය කළා යෑයි අඟවන අය වෙති. ජනමාධ්‍ය මගින් මෙවැනි වෛද්‍යවරුන් ගේ ප්‍රතිකාරවලට සුවිශාල ප්‍රසිද්ධියක් ද ලබා දී තිබිණි. මෙහි දී ද විද්‍යාත්මක පදනම යන්න මෙවැනි අය ගේ සහායට පැමිණෙයි. මන්ද යත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වැනි පැහැදිලිව ම විද්‍යාත්මක නො වන ප්‍රතිකාර විධිවලට නො ලැබෙන ඉහළ ප්‍රසිද්ධියක් මෙවැනි විද්‍යාත්මක යෑයි කියාගන්නා ප්‍රතිකාරවලට ලබාගත හැකි බැවිනි.
රූපාලංකරණයට අදාළ සැත්කම් බටහිර වෛද්‍ය විද්‍යාව තුළ ක්‍රියාත්මක වුව ද රූපාලංකරණය විද්‍යාත්මක ද නැද්ද යන්න පිළිබඳව බටහිර වෛද්‍යවරුන් අතර පවතින්නේ එක මතයක් නො වේ. සමහරුන් රූපාලංකරණය යනු විද්‍යාත්මක පදනමක් නොමැති සුන්දරත්වයට අදාළ ක්‍රියාදාමයක් වන බව පවසන අතර තවත් අය පවසන්නේ එහි මනා විද්‍යාත්මක පදනමක් පවතින බවයි.
රූපාලංකරණය හා රූපලාවන්‍යය යන වදන් පර්යාය අරුතෙන් සිංහල භාෂාවෙහි ව්‍යවහාර වන අතර ඉංගී්රසියෙන් මේ සඳහා යෙදෙන්නේ Cosmetic හෝ Beauty culture යන වදන් ය. එහෙත් මේ සම්බන්ධ ව වඩාත් නිරවද්‍ය යෙදුම වන්නේ Cosmetic බව පෙනේ. කෙසේ වෙතත් සිංහල භාෂා ශබ්දකෝෂයන්හි Cosmetic යන්නට දී ඇති අරුත් ම`ගින් පුළුල් අර්ථ සම්පාදනයකට ඉඩ අහුරා ඇති බව පෙනේ. ඉංගී්රසි Cosmetic යන්නෙන් විලවුන් මෙන්ම රූප අලංකරණය, දේහ සුන්දරත්වය වැනි අර්ථ ද ලැබේ. වර්තමානය තුළ Cosmeticහෙවත් රූප අලංකරණ ක්‍රමවේදය යනු හුදෙක් විලාසිතාවක් පමණක් ම නො ව කර්මාන්තයක් ද වේ. අප නිය සිතුවම් කිරීමේ කලාව (Nail Art) ලෙස හෝ හිසකෙස් වර්ණ ගැන්වීමේ කලාව ලෙස මේ දේවල් හැඳින්වුව ද මේවා හරහා විශාල ප්‍රාග්ධනයක් ක්‍රියාත්මක වේ. ඇමෙරිකාවේ කාන්තාවන් පමණක් රූපාලංකරණ සැත්කම් සඳහා වසරකට ඩොලර් බිලියන 13ක් පමණ වැය කරති. එසේ ම චීනය තුළ අලුතින් බිහි වන උපාධිධාරීන් ගෙන් 30%ක් පමණ ම උපාධිය ගත් විගස රූපාලංකරණ සැත්කම් කර මුහුණ ලස්සන කරගනිති. එසේ කරන්නේ හොඳ රැකියාවක් සොයා ගන්නට ය. ඇතැමුන් රූපාලංකරණය සතු ව විද්‍යාත්මක පදනමක් නැතැයි පැවසුව ද මේ විෂයය සම්බන්ධයෙන් සුවිශාල පරාසයක විද්‍යාත්මක පර්ය්ෂණ සිදු ව ඇති බව පෙනී යයි. එසේ ම ඒ බොහොමයක් පර්යේෂණවලින් පෙනී ගොස් ඇත්තේ කෘත්‍රිම වශයෙන් වුව ද මිනිසාට රූපය හැඩවැඩ කරගැනීමේ හැකියාව ඇති බවයි. මෙය සොබාදහමට එරෙහි ව යැමක් ලෙස කෙනකුට තර්ක කළ හැකි වුව ද එක් අතකින් මිනිසා මේ තරම් දියුණුවකට පත් වූයේ සොබාදහමට එරෙහි ව නිරන්තරව කළ සටන හේතුවෙනි. සොබාදහමට හැකිතාක් අනුගත ව දිවිගෙවන්නට උත්සාහ දැරීම ඵලදායි දෙයක් වුව ද මිනිසා සොබාදහමට එරෙහි ව ක්‍රියාත්මක වන එක ම අවස්ථාව රූප අලංකරණය නො වේ. රූපාලංකරණය තුළ ක්‍රියාත්මක වන ඇතැම් ක්‍රමවේද පසුගිය කාලසීමාව තුළ විශිෂ්ට මට්ටමේ පර්යේෂණකයන් විසින් ම අනාවරණය කරන ලද දත්ත පාදක කරගත් ඒවා විය හැකි ය. නිදසුනක් ලෙස හිසකෙස් වර්ණගැන්වීම් ගැන සඳහන් කරත හොත් වර්තමානයේ රූපාලංකරණ ශිල්පීන් විසින් කෙස් "ටින්ට්" කිරීම හෝ වෙනත් අලංකරණ ක්‍රම සඳහා සම්ප්‍රදායික ඥානය මෙන්ම විද්‍යාත්මක ඥානය ද භාවිත කොට තිබේ. කෙස් වර්ණ ගැන්වීම්, ඇස්වල වර්ණ වෙනස් කරවීම්, සම පැහැගැන්වීම් ඇතුළු රූපාලංකරණ ක්ෂෙත්රයේ විශාල පරාසයක නව දැනුම එක් කරන්නට පසුගිය කාලය තුළ සිදු කරනු ලැබු පර්යේෂණවලට හැකි ව තිබේ. සෘජුව ම රූපාලංකරණයට අදාළ නො වන පර්යේෂණවල ප්‍රතිඵල පවා ඇතැම් විට රූපාලංකරණ විශේෂඥයෝ තම කටයුතු සඳහා යොදාගනිති.
නිදසුනක් දක්වත හොත් 2014 පෙබරවාරි මස Rockefeller විශ්වවිද්‍යාලයයේ Milstein පර්යේෂණ ව්‍යාපෘතියේ Claire Wang හා මහාචාර්ය Discolouration ඇතුළු පිරිස සමේ දුර්වර්ණ වීම් (Discolouration) සඳහා සමෙහි සෛලවල අණුක වෙනස් වීම් හේතු වන බව සොයාගත් අතර එය ඔවුන් කළේ Psoriasis හා Eczema වැනි රෝග තත්ත්වවලින් පීඩා විඳින රෝගීන් වෙනුවෙනි. එහෙත් අද වන විට රූපාලංකරණ ක්‍රමවේදවලට මේ නව දැනුම අවශෝෂණය වෙමින් පවතී. 2014 අගෝස්තු මාසයේ නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලයයේ විද්‍යාඥයෝ පිරිසක් අයන ප්‍රවාහයක් (ion beam-ආරෝපිත අංශු වර්ගයකි) යොදාගනිමින් ඉතා ඉක්මනින් කෙස් වර්ණගැන්විය හැකි ක්‍රමයක් හඳුන්වා දුන් හ. මේ අධ්‍යයනය පිළිබඳ තොරතුරු Journal of Cosmetics‚ Dermatological Sciences and Applicationහි පළ විය. සායම් වර්ග භාවිත කරන්නට අකැමැත්තක් දක්වන අයට තම කෙස් වර්ණගන්වන්නට මෙය හොඳ ක්‍රමයක් බව එම අධ්‍යයන මෙහෙයවූ විද්‍යාඥයෝ පෙන්වා දෙති. මේ අධ්‍යයනය ඔවුන් මෙහෙයවා ඇත්තේ කිසියම් රෝගයකට පිළියමක් සෙවීමේ අරමුණෙන් නො ව හුදෙක් ම රූපාලංකරණය ප්‍රවර්ධනය කරන්නට ය. මේ අධ්‍යයනයට නිව්මෙක්සිකෝ විශ්වවිද්‍යාලයයේ Khawar Abbas ඇමෙරිකාවේ ලොස් ඇලමෝස් පර්යේෂණාගාරයේ පර්යේෂකයෝ ද සහභාගි වූ හ. ඔවුන් විසින් කරන ලද මේ අධ්‍යයනයට අදාළ නිබන්ධය කියවා බලන්නට ඔබට හැකි වුව හොත් රූපාලංකරණ වේදයේ රසවත් ඵෙතිහාසික තොරතුරු පවා දැනගන්නට ඔබට පුළුවන. අතීත රෝමවරුන් හිසකෙස් කළු කිරීමට "හෙනා" භාවිත කළ ආකාරයත් ආරාබින් PbO හා Ca(OH)2 මිශ්‍රණයක් යොදාගත් ආකාරයත් නිබන්ධයේ පළමු පිටුවේ සඳහන් වේ. එසේ ම වර්තමානයේ හිසකෙස් කළු කිරීමට හා වර්ණ ගැන්වීමට යොදාගැනෙන ක්‍රම ගැන විස්තරයක් ද එහි වේ. පර්යේෂකයන් තම නිබන්ධයෙහි මුල් කොටසින් අවධාරණය කරන වැදගත් කරුණක් වන්නේ මේ නව රසායනික ක්‍රමවලින් අතුරු ආබාධ ඇති විය හැකි බවයි. රූපාලංකරණ ක්‍රම සඳහා රූපාලංකරණවේදීන් භාවිත කරන නව ක්‍රම බොහොමයක් නවීන විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල ඔස්සේ ගොඩනැඟු දේ ම වෙතත් ඒවායේ දොසක් දුටු විට ඒවා හෙළි කිරීමට විද්‍යාඥයන් උත්සුක වීම ගැන අප සතුටු විය යුතු ය. සැබැවින් ම විද්‍යාත්මක ක්‍රමවේදය තුළින් අප අපේක්ෂා කළ යුත්තේ ද එයයි. Abbas ඇතුළු පර්යේෂකයන් තම ion beam ක්‍රමය හඳුන්වා දී ඇත්තේ රසායනික ක්‍රමවලින් වන හානි අවම කර ගැනීමේ අරමුණෙනි. Focused Ion Beam Milling නම් වන මේ තාක්ෂණය ම`ගින් කෙනකු ගේ කොණ්ඩයක් ඉතා ඉක්මනින් අඩු විදයමකින් හා හානි රහිතව වර්ණ ගැන්විය හැකි බව පර්යේෂකයෝ පෙන්වා දෙති. තවමත් මේ ක්‍රමය වෙළෙඳපොළට පිවිසී නැතත් ළඟ දී ම මේ දැනුම හරහා කෙස් වර්ණගැන්වන ක්‍රම බිහි වනු ඇතැයි සිතිය හැකි ය. රූපාලංකරණ සැත්කම් ලොව පුරා බහුල ව සිදු කෙරෙන අතර ඒ සැත්කම්වල වෙළෙඳ වටිනාකම වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන දහස් ගණන ඉක්මවයි. මුහුණේ හැඩය වෙනස් කරවා ගැනීම ඇතුළුව විවිධ දේ සඳහා මෙවැනි සැත්කම් සිදු කෙරේ. බොහෝ දෙනෙක් ප්ලාස්ටික් සැත්කම් හා රූපාලංකරණ සැත්කම් පටළවා ගනිති. ප්ලාස්ටික් ශල්‍යවෛද්‍යවරුන් ම රූපාලංකරණ ශල්‍යකර්මවල නියෑළෙන නිසා මේ ගැටලුව මතු වේ. එහෙත් ප්ලාස්ටික් සැත්කම්වල අරමුණ රූපාලංකරණ සැත්කම්වල අරමුණෙන් වෙනස් ය. රූපාලංකරණ සැත්කමක අරමුණ අදාළ තැනැත්තාට වඩාත් හොඳ පෙනුමක් ලබා දීමයි. කැඩුණු නහයක් යථා තත්ත්වයට පත් කරවීම, ඇද ව ගිය තොලක් ප්‍රකෘතිමත් කරවීම, උපතින් ම ඇද වී ගිය අතක් පයක් යථා තත්ත්වයට පත් කරවීම වැනි දේ ප්ලාස්ටික් සැත්කම් ය. එය පිහිටීමේ හෝ ක්රියාකාරීත්වයේ යම් වරදක්a නිවැරැදි කරන්නට සිදු කරන වෛද්‍යමය ක්‍රියාවලියකි. එහෙත් රූපාලංකරණ සැත්කම් එසේ නො වේ. මුහුණේ හැඩය වෙනස් කිරීම, පියයුරුවල හැඩය වෙනස් කිරීම ආදිය රූපාලංකාර සැත්කම්වලට නිදසුන් ය. මුහුණෙහි ඇති වන රැලි ඉවත් කිරීම ද රූපාලංකරණ සැත්කම්වලට ඇතුළත් වන්නකි. මේවා කරන්නේ ලෙඩකට පිළියමක් ලෙස නො ව රූපාලංකාරය ඉහළ දමාගන්නට ය. මේ සැත්කම්වල ස්වභාවය අනුව මෙන්ම වෛද්‍යවරුන් ගේ ප්‍රසිද්ධිය හා රෝගියා ගේ තරාතිරම අනුව ද මේ සැත්කම්වලට අය කෙරෙන ගාස්තු ද වෙනස් වේ. මෙවැනි සමහර සැත්කම්වල වටිනාකම ලක්ෂ 5-6 පවා ඉක්මවයි. සමහර විට ඒ සැත්කමෙන් කෙරෙන්නේ කුඩා රෝම ටිකක් ඉවත් කිරීම ය. නැත හොත් වෙනත් සුළු දෙයකි. සමහර විට ප්‍රයෝජනවත් කිසි ම දෙයක් සිදු වන්නේ ද නැත. ඇද වූ පාදයක් යථා තත්ත්වයට පත් කරන්නට ලොකු මුදලක් වියදම් කිරීමේ ගැටලුවක් නැතත් නොවැදගත් යෑයි කෙනකුට හිතෙන කුඩා දෙයක් වෙනුවෙන් පවා විශාල මුදලක් අය කිරීම ඇතැම් විට සිදු වේ. සමහර විට ජනමාධ්‍යවලින් යම් වෛද්‍යවරයකුට ඉහළ ප්‍රසිද්ධියක් දුන් විට ඒ වෛද්‍යවරයා ඒ ඔස්සේ තම සැත්කමේ වෙළෙඳ වටිනාකම ඉහළ දමයි. අප මෙහි දී නම සඳහන් කරන්නට අකැමැති එක්තරා රූපාලංකාර සැත්කම් විශේෂයක් ඇතැම් වෛද්‍යවරුන් රුපියල් ලක්ෂ 6-7 අතර මිල ගණන්වලට සිදු කරන්නේ තවත් ඇතැම් වෛද්‍යවරුන් ඒ සඳහා රුපියල් 6000ක් වැනි සුළු මුදලක් අය කරන තත්ත්වයක දී ය. කෙසේ වෙතත් මේ සම්බන්ධ ගැටලු එක් දිනකින් විසඳීමට නොහැකි බව පෙනේ. මිනිසුන් ගේ දැනුවත්කම මෙන්ම සංස්කෘතික හා ආර්ථික බලපෑම් ද මේ සඳහා හේතු වේ. ජනමාධ්‍ය මේ ප්‍රශ්න විග්රහ කළ යුත්තේ ද පරෙස්සමෙනි. විශේෂයෙන් ම වෛද්‍යවරුන් ගේ ප්‍රතිකර්ම ගැන ප්‍රචාරයක් දෙන විට ඒ තැනැත්තා සැබෑ සුදුසුකම් ඇත්තකු ද යන්න සොයා බැලීම අනිවාර්ය මාධ්‍ය ආචාරධර්මයක් බව සිහිතබා ගත යුතු ය. එසේ ම හැකිතාක් දුරට ස්වාභාවික රූපාලංකරණ ක්‍රමවල පිහිට පතන්නටත් කෘත්‍රිම ක්‍රමවේදවලට යොමු වන්නේ නම් ඒ ගැන පුළුල් අධ්‍යයනයකින් පසු එය කරන්නටත් සිතිය යුතු ය. එහෙත් අද අප සිටින්නේ හැල්මේ දුවන තරගයක ය. අපේ ජීවිත ගැන වත් ඉවසිල්ලෙන් සිතා තීරණ ගන්නට මේ සමාජ ක්‍රමය අපට ඉඩ නො දෙයි. එනිසා අප අනතුරේ වැටෙන්නට ඇති ඉඩ වැඩි ය. මනෝඡ් රත්නායක