විභාග භීතිකාවට පිළියම්
විභාගයක් ආසන්න වන විට විභාගයට මුහුණ දෙන අයට විභාගය පිළිබඳ බියක් ඇත sවේ. මෙය විභාග භීතිකාව/විභාග ආතතිය ලෙස හැඳින්වේ. අධ්‍යයනවලින් පෙනී ගොස් ඇත්තේ මෙසේ ඇති වන බිය නිසා විභාගය අසාර්ථක වීම මෙන්ම හිසරදය, චර්ම රෝග හා මානසික පීඩා ද ඇති විය හැකි බවයි. ඇතැම් දරුවන් ගේ මතකය මේ බිය නිසා බිංදුවට බසින අවස්ථා ද ඇත. එනිසා කෙනකු විභාග භීතිකාව යනු කුමක් දැයි හොඳින් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය. අනෙක් අතට බියක් ඇති වූවා කියා විභාගය මඟහැර යන්නට අපට නොහැකි ය. එසේ වුව හොත් පාඩු වන්නේ අපට ම ය. එනිසා කළ යුතු වන්නේ විභාගය හැර දමා පලා යැම නො ව බිය පරාද කිරීම ය.
ඇතැම් විට ඉතා හොඳින් පංතියේ වැඩ කරන සැබෑ කැප වීමක් ඇති දරුවකුට පවා විභාග බිය ඇති විය හැකි ය. විභාග බිය හේතු කීපයක් නිසා ඇති විය හැකි ය. පළමුවැන්න නිසි ලෙස සූදානම් නො වීමයි. දෙවැන්න විෂය කරුණු නිසි ලෙස පරිහරණය කරන්නට නො ලැබීමයි. තෙවැන්න තමා අන් අය විසින් විනිශ්චයට බඳුන් කරනු ලබතැයි යන සිතිවිල්ලයි. මවුපියන් තමා ගැන තබන ලද විශ්වාසය බිඳ වැටේ ද යන්න නිතර සිතීමෙන් ද දරුවෝ විභාග භීතියක් ඇති කරගනිති. විභාග භීතිකාව ඇති වන තව ක්‍රමයක් වන්නේ සම වයසේ මිතුරු මිතුරියන් ගේ කතාබහයි.
''මං නම් මෙච්චර පාඩම් කළා. ඔයා තවම ඔතන ද?" වශයෙන් ඇතැමෙක් අනෙකා ගේ සිත බිඳ දමති. එනිසා මිතුරා මිතුරිය කෙතෙක් පාඩම් කර ඇත් දැයි අසන්නට යැමෙන් වළකින්න. විභාග භීතිකාව ප්රබලව ම ඇති වන අවස්ථාව වන්නේ ප්‍රශ්න පත්‍රය අතට ගන්නා මොහොතයි. එක පිට එක අමාරු ප්‍රශ්න දකින විට සමහරු ක්ලාන්ත වෙති. සමහරුන් ගේ දැස් නිලංකාර වී යයි. පළමු ප්රශ්නය අමාරු එකක් නම් එය අතහැර දෙකට යන්න. යහළුවන් ප්‍රශ්න පත්රයකට උත්තර ලිව් හැටි අසන්නට යැම ද (ඉදිරි දිනවල වෙන ප්‍රශ්න පත්‍ර ඇත්නම්) නො කළ යුත්තකි. එවිට ද තමා ගැන කලකිරීමක් ඇති වීමට ඉඩ තිබේ. එසේ ම විභාගයට ඔන්න මෙන්න කියා තිබිය දී (පැය කීපයක් හෝ දවසක්) අලුත් විෂය කොටස් ඉගෙන ගන්නට යන්නට එපා. එමඟින් දන්නා දේ ද අමතක වී යා හැකියි.
තමන් ගේ දක්ෂතාව ගැන යම් විශ්වාසයකින් සිටීම අවශ්‍ය ය. එහෙත් අධික විශ්වාසයත් එතරම් හොඳ නැත. අධික විශ්වාසය (ඕනෑවට වඩා) නිසා කෙනකු පාඩම් වැඩවලට උනන්දු නො වී සිටීමට ඉඩ ඇත. "මං දන්නවා මට පුළුවන් කියා. ඉතිං මොකට ද තව මහන්සි වෙන්නේ"යි සිතෙන්නට ඉඩ ඇත.
එනිසා අවසන් මොහොත දක්වා පාඩම් කටයුතුවල යෙදීම සුදුසු ය.
ඕනෑවට වඩා වැඩි විශ්වාසය (Over confidence) නිසා වූ විනාශයකට හොඳ ම නිදසුන වන්නේ 1912 දී ගිලී ගිය ටයිටැනික් නෞකාවයි. එය නිපදවූ සමාගම නැව නො ගිලෙන බව කී නිසා නැවට දුන්නේ ජීවිත ආරක්ෂක බෝට්ටු 20ක් පමණි. ඒ වෙනුවට බෝට්ටු 40ක් දී තිබුණා නම් මිය ගිය 1500 දෙනාට එලෙස වන්නේ නැත. කපිතාන් පවා සිතා සිටියේ නො ගිලෙන නැවකට ජීවිතාරක්ෂක බෝට්ටු කුමට ද කියා ය.
මේ විදියට කවදා වත් විභාගය ගැන හිතන්න එපා. විභාගය ඔබට පහසු වන බවත් එය ඔබ හො`දින් ලියන බවත් හිතා සිටීම යහපත් ය. එහෙත් සමහර විට විභාගය අසීරු වන්නටත් ඉඩ තිබේ. ඒ නිසා ඔබ අධික විශ්වාසයෙන් කුල්මත් ව පාඩම් වැඩ නවතා දමන්න එපා.
විභාග කාලයේ දී එක දිගට පාඩම් කිරීමේ දී ඔබට වෙහෙස ඇති වේ. මේ කායික හා මානසික වෙහෙසින් මිදෙන්නට ඉ`දහිට විවේකයක් ගත්තාට වරදක් නැත. පැය දෙක තුනක පාඩම් කාලයකින් පසු මිනිත්තු පහක, දහයක විවේකයක් ගන්න. ඒ කාලය තුළ ගීතයක් අසන්න. ව්‍යායාමයක යෙදෙන්න. අවශ්‍ය නම් ඉතා කෙටි වේලාවක් ක්‍රීඩාවක යෙදෙන්න. (ශරීරය එතරම් නො වෙහෙසන කැරම්, ටේබල් ටෙනිස් වැනි). අවශ්‍ය නම් මිතුරකුට දුරකථන ඇමතුමක් දෙන්න. එහෙත් විභාග කාලයේ දී රූපවාහිනි නැරඹීමට හෝ අන්තර්ජාලයේ සැරිසැරීමට හෝ යොමු වන්න එපා. විශේෂයෙන් ම අන්තර්ජාලයට යොමු වන්න එපා. මන්ද ඉන් පිටතට ඒම අසීරු වන්නට ඉඩ ඇති බැවිනි.
ප්‍රශ්න පත්‍රය අතට ගෙන ලිවීමේ දී දරු දැරියන් කරන වරදක් වන්නේ අසීරු යෑයි සිතෙන ප්‍රශ්න සම`ග ඔට්ටු වන්නට වැඩි කාලයක් යෙදීමයි. එහි ප්‍රතිඵලය වන්නේ වැඩි ලකුණු ලබාගත හැකි පහසු ප්‍රශ්නවලට ලිවීමට වෙලාව මඳ වීමයි. ඒ නිසා හැම විට ම පහසු ප්‍රශ්නවලට මුලින් හොඳට උත්තර ලියන්න. දෙවනුව අසීරු ප්‍රශ්නවලට ලියන්න. උත්තර ලියන අතරතුර අන්‍යයන් උත්තර ලියන ආකාරය බලා හි`දින්නට එපා. එය ඔබට යම් මානසික ගැටලුවක් ඇති කරවන එමෙන්ම වේලාව නාස්ති කරවන ක්‍රියාවකි. තව ද සිත අනවශ්‍ය මාතෘකාවලට යොමු කරවීමට එම බැල්මවල් හේතු වේ.
විභාග භීතිකාව දුරලීමට හො`ද ම ක්‍රමයක් වන්නේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සපයාගෙන විභාගයක් සේ සලකා ලිවීමයි. මෙය එතරම් අපහසු ක්‍රියාවක් නො වේ. ඔබ පෙනී සිටීමට බලාපොරොත්තු වන විභාගයට අදාළ පසුගිය ප්‍රශ්න පත්‍ර හෝ ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල ද සොයා ගන්න. ප්‍රශ්න පත්‍රයට මුහුණ දීමට දෙන කාලය එහි ඉහත සදහන් කර ඇත. එලාම් ඔරලෝසුවක් යොදා ගෙන, විභාගයකය උත්තර ලියනවා සේ මේ ප්‍රශ්න පත්රවලට උත්තර ලියන්න. තමා ආදර්ශ විභාගයකට සැරසෙන බව මවුපියන්ට දන්වන්න. එනම් ගෙදර විභාග පරිසරයක් ගොඩ න`ගාගන්න.
මෙවැනි ආදර්ශ විභාගවලට මුහුණ දීමෙන් විභාග භීතිකාව බොහෝ දුරට මඟහැරෙනු ඇත. පාසල්වල ද අමතර පංතිවල දී ද බොහෝ විට මෙවැනි පෙරහුරු ආදර්ශ විභාගවලට මුහුණ දීමට ඔබට සිදු වේ. විභාග කාලවල දී විභාගමය නො වන ගැටලු නිසා ද ඔබට යම් ආතතියක් ඇති විය හැකි ය. ගෙදර මවුපියන් ගේ ගැටලු, ප්‍රේමය සම්බන්ධ ප්‍රශ්න, මුදල් හි`ගකම වැනි දේ නිදසුන් ය. මෙවැනි දේ වහා ම විස`දා ගන්නට කටයුතු යොදන්න. මන්ද මේවාට වෙලාව වැය කිරීම ඔබ ගේ වටිනා කාලය (විභාගය ස`දහා තිබෙන) නාස්තියකි. මේවා විසඳන්නට දිගු කාලයක් ගත වේ නම් ඒවායේ එල්ලී නො ඉ`ද විභාගයට අවධානය යොමු කරන්න.
ඇතැම් දරුවන් විභාගය පැවැත්වෙන අතර දී කරන ලොකු වරදක් තිබේ. එය නම් යම් දිනක විභාග ප්‍රශ්න පත්‍රයක් ලියා අවසන් වූ පසු ඒ ගැන හිතන්නට වීමයි. සමහර විට හිතීමෙන් සැනසීමට පත් නො වී මේ දරුවෝ තමා ලියූ උත්තර හරි ද බලන්නට ද යති. ඒ ස`දහා මිතුරන් සම`ග සාකච්ඡාවට මෙන්ම සටහන් පොත් බලන්නට ද යති. මෙමඟින් පාඩු දෙකක් සිදු වේ. පළමුවැන්න වටිනා කාලය නාස්ති වීමයි. දෙවැන්න ඔබ යම් ප්‍රශ්න පත්රයකට අසාර්ථක ලෙස උත්තර ලියා ඇත්නම් ඒ ගැන දැන ගන්නට ලැබීමයි. එවිට ඔබට සිතට අපහසුතාවක් ඇති වේ. එම අපහසුතාව ඔබ ගේ ඉදිරි ප්‍රශ්න පත්‍ර සාර්ථකව කිරීමට බාධාවකි. එදිනෙදා ලබා දෙන ප්‍රශ්නවලට හොඳ ම ලිවීම කළ යුතු මුත් ලිවීමෙන් පසු ලියූ උත්තර හරි ද වැරැදි ද බලන්නට යැම (ඉදිරි දිනවල) විභාග තිබිය දී මුග්ධ ක්‍රියාවකි. මේ දෙන ප්‍රශ්න පත්‍ර සුරැකි ව තබාගෙන විභාගය අවසන් වූ පසු ඒ කටයුත්ත කරන්න.
උදය වරුවේ ගණිතය තිබුණා යෑයි සිතන්න. උදේ 11ට මේ ප්‍රශ්න පත්‍රය අවසන් වී යළි 12.30 පමණ විද්‍යාව ප්‍රශ්න පත්‍රයක් ඇත්නම් ඔබ කළ යුත්තේ ගණිතය ගැන හිත හිතා හිදීම නො වෙයි. 11 සිට 12.30 වන තුරු පැය 1 1/2ක් ඉතිරි ව තිබේ. ඒ වෙලාව ඔබ වැය කළ යුතු වන්නේ ඊළ`ග මොහොතේ අතට එන විද්‍යාවට ලියන හැටි ගැන හිතන්නටයි.