පරිසරය වෙනුවෙන් "නූතන තාක්ෂණය"
වර්තමාන ලෝකය තාක්ෂණික වශයෙන් බොහෝ සේ ඉදිරියට ගොස් තිබේ. මේ නිසා අපේ ජීවිත පහසු කරගැනීම සඳහා අපි විවිධ තාක්ෂණය හා තාක්ෂණික මෙවලම් භාවිත කරමු. පරිගණක, ඩිජිටල් කැමරා, ස්මාර්ට් දුරකථන මෙවැනි මෙවලම් අතර වේ. අප භාවිත කරන නූතන තාක්ෂණයක් ලෙස අන්තර්ජාලය හැඳින්විය හැකිය. මේ උපකරණ හා මෙවලම් අපේ ජීවිතවලට කෙතරම් සමීප ද යත්, මේ අප ගත කරන්නේ "ඩිජිටල් අවධියක්" සේ ඇතැම් විට දක්වා තිබේ.
අප එතරම් සැලකිල්ලට නො ගත්ත ද, මේ ඇතැම් තාක්ෂණික උපකරණ භාවිත කරමින් අපට අපේ පාරිසරික පියසටහන අඩු කරගත හැකි ය. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, පරිසරයට අප අතින් වන බලපෑම සැලකිය යුතු තරමින් අඩු කරගත හැකි ය. නිදසුනක් ලෙස ගත හොත්, මේ තාක්ෂණය භාවිත කිරීමෙන් ප්‍රවාහන විමෝචන අඩු කරගත හැකි අතර, සම්පත් භාවිතය ද සීමා කළ හැකි වේ. මේ නිසා තාක්ෂණය අපට පාරිසරික වශයෙන් බෙහෙවින් සාධනීය වන බව පැවසිය හැකි ය.
කෙසේ වෙතත් මේ තාක්ෂණික මෙවලම් නිෂ්පාදනයේ දී කිසියම් පාරිසරික බලපෑමක් ඇති අතර ඒවා භාවිතයේ දී විදුලිය වැය වන බැවින් ඊට අදාළ කාබන් පියසටහනක් ඇති බව අප අමතක නො කළ යුතු ය. අන්තර්ජාලයට ද යම් පාරිසරික පියසටහනක් තිබේ. එහෙත් එයින් අපට ලබාගත හැකි පරිසර හිතකාමී ප්රතිලාභ හා සංසන්දනය කිරීමේ දී මේ නූතන තාක්ෂණය පාරිසරික වශයෙන් හිතකර කටයුතු සඳහා ද යොදාගත හැකි බව පෙනේ. එය බොහෝ විට ආර්ථික වශයෙන් ද වාසිදායක ය.
අපට ගත හැකි පියවර කිහිපයක්
අපෙන් පරිසරයට සිදු වන බලපෑම හෙවත් පාරිසරික පියසටහන අඩු කිරීම සඳහා අපට නූතන තාක්ෂණය යොදාගෙන විවිධ පියවර ගත හැකි ය. එවැනි ක්‍රියාමාර්ග කිහිපයක් මෙසේ ය.
අපට අවශ්‍ය විවිධ ද්‍රව්‍ය තෝරා ගැනීමට හා මිල දී ගැනීමට අන්තර්ජාලය භාවිත කිරීමෙන් (online shopping) කාලය ඉතිරි කරගත හැකි අතර, ප්‍රවාහනයේ දී වැය වන හරිතාගාර වායු විමෝචන ද අඩු කරගත හැකි වේ.
පුවත්පත් කියෑවීමේ දී අන්තර්ජාලය හැකිතාක් භාවිත කිරීමෙන්, කඩදාසි හා සම්බන්ධ වන වන අපේ පාරිසරික පියසටහන අවම කරගත හැකි ය.
අපට හැකි අවස්ථාවල දී මුද්‍රිත පොත් මිල දී ගැනීම වෙනුවට ඊ- පොත් (E-books) මිල දී ගැනීම හා කියෑවීම මගින් ද අපේ කඩදාසි භාවිතය අඩු කළ හැකි ය.
ඩිජිටල් මාධ්‍යයෙන් ඇති ලේඛනයක් මුද්‍රණය කිරීමට පෙර එය අත්‍යවශ්‍ය ද යන්න ම`දක් විමසා බැලීම යෝග්‍ය ය. අප මුද්‍රණය කරන ඇතැම් ලේඛන ඩිජිටල් මාධ්‍යයෙන් පරිහරණය කිරීම පහසු ය.
මුද්‍රිත කඩදාසි බිල්පත් වෙනුවට ඉලෙක්ට්‍රොනික බිල්පත් ලබාගැනීම - දුරකථන සමාගම්, බැංකු හා වෙනත් සේවා සපයන සමාගම් ඔවුන් ගේ සේවා සඳහා අපට යොමු කරන බිල්පත් වෙනුවට ඊ-බිල්පත් නිකුත් කරයි. මේවා ලබාගැනීමෙන් කඩදාසි භාවිතය අඩු කළ හැකි ය.
ගනුදෙනු සඳහා අන්තර්ජාල ගනුදෙනු ක්‍රම භාවිතය - බොහෝ ආයතනවලට මුදල් ගෙවීම මෙන්ම බැංකු කටයුතු ද අන්තර්ජාලය හරහා සිදු කළ හැකි ය (online billing). අදාළ කටයුතු සඳහා තැනින් තැනට යැමට ගත වන කාලය හා පාරිසරික පියසටහන මෙම`ගින් අඩු කරගත හැකි ය.
අපට යම් අයකු හා කෙටි සාකච්ඡාවක් සිදු කිරීමට අවශ්‍ය වූ විට ඒ සඳහා විද්‍යුත් මාධ්‍යයක් භාවිත කළ නොහැකි ද යන්න විමසා බැලීම - දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපෑල හා විවිධ අන්තර්ජාල සංවාද ආදී ක්‍රම යොදාගනිමින් අන් අය සමඟ සම්බන්ධ විය හැකි ය. එවිට තවත් ස්ථානයක් වෙත ගමන් කිරීමේ අවශ්‍යතාවක් නැති නිසා හරිතාගාර වායු විමෝචන පිට නො වේ.
සමූහ සාකච්ඡා සඳහා තොරතුරු තාක්ෂණික වශයෙන් ඇති පහසුකම් නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීම - වැඩි දෙනකු හා එක්වර සම්බන්ධ විය හැකි තාක්ෂණය අද පුළුල් ව භාවිත වේ.
සාමාන්‍ය කැමරාවක් වෙනුවට ඩිජිටල් කැමරාවක් භාවිත කිරීම පරිසර හිතකාමී වේ. ඒ සාමාන්‍ය ඡායාරූප සැකැසීමේ දී හා මුද්‍රණය කිරීමේ දී සිදු වන පාරිසරික බලපෑම, ඩිජිටල් කැමරාවකට වඩා ඉහළ වන නිසා ය.
ධනේෂ් විසුම්පෙරුම
ඔබේ අදහස්:
dhaneshw@ymail.com
||||||
0 ප්‍රතිචාර:
Post a Comment
ලිපිය ගැන ඔබේ අදහසත් එකතු කරන්න...