10:11

නිවෙසක ගෘහණියගෙන් ඉටුවෙන වැඩ කන්දරාවකි. ආහාර පිසීම, නිවෙස අතුපතුගෑම ආදී දහසකුත් වැඩ අතර රෙදි සෝදා වේලා ගැනීම වේළුණු රෙදි පිළිවෙළකට අසුරා ගැනීමද වේ. දිවා කාලයේදී සෝදා ගත් රෙදි ටික වේළා ගැනීමට ගෘහණියෝ යුහුසුළු වෙති. අව්ව හොඳින් වැටී ඇති දිනක මෙන් නොව වැසි දිනෙක නම් රෙදි වේළා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවේ.
“දවල් කාලෙදි වේළුණු රෙදි 


වැලෙන් අරගෙන එකවරම ගෙට යන්න හොඳ නැහ. ටික වේලාවක් පිලේ වාඩිවෙලා ඉඳලා ගෙතුළට යන්න”.
වැඩිහිටියන් එසේ පවසනු බොහෝ විට ඔබ අසා ඇතිවාට නිසැකය. අද සමාජයේ බහුතරයක් කාන්තාවෝ ගතානුගතික මතවාද වල එල්බ ගෙන කටයුතු කරති. ඒවායෙන් බො‍හෝමයක් පුහු මතවාද පමණි. එහෙත් ඇතැම් මතවාද වල මතුපිටින් කියනදේ කවරක් වුවද ඇතුළතින් හරවත් පදනමක් තිබේ. ඉහතින් දැක්වූයේ එවැනි මතයකි.
හොඳින් අව්ව පායා ඇති විටක වේළුණු රෙදිත් වැලෙන් රැගෙන නිවස තුළට පැමිණෙන විට ඇස් නොපෙනී යයි. නැත‍හොත් ඇස් නිලංකාර වී යයි. ආලෝකය ‍හොඳින් ලැබෙන තැනක සිටින විට ඇසට ‍‍හොදින් ආලෝකය ලැබේ. මේනිසා ඇසේ බබා (කනිණිකාව) කුඩා වේ. ඒත් නිවස ඇතුළත ආලෝකය අඩුය. අව්වේ මඳ වේලාවක් හිඳ නිවස තුළට පැමිණි විටදී ඇසේ බබා කුඩා වී ඇති බැවින් ප්‍රමාණවත් ආලෝකයක් නොලැබී යයි. නිවෙස තුළ දී ‍හොඳින් පෙනීමට නම් ප්‍රමාණවත් ආලෝකයක් ඇසට ලැබිය යුතුය. ඒ සඳහා ඇසේ බබා (කර්ණිකාව) නිවස තුළ ඇති ආලෝකය ලබා ගත අයුරින් විශාල විය යුතුයි. ඒ සඳහා තත්පර කිහිපයක් ගත වේ. වේළුණු රෙදි රැගෙන පිලේ ටි වේලාවක් වාඩි වී හිඳ නිවෙස තුළට පැමිණෙන්න යැයි පැරැන්නෝ කීවේ එබැවිනි.
එසේ නොමැතිව අව්වේ වැනූ රෙදි රැගෙන එකවර නිවස තුළට පැමිණියහොත් ඇස් ‍නොපෙනි යාම නිසා නිවස තුළ ඇති යමක ගැටීමට බිම ඇති යමක හැපී වැටීමට පවා පුළුවන. එයින් තුවාලවීමට, අත් පා ආබාධයට ලක්වීමට පවා පුළුවන. විශේෂයෙන්ම වැඩිහිටි කාන්තාවන් මේ ගැන සැලකිලිමත් විය යුතුය. පෙර තියා අනතුර දැක එයින් වැළකීම ඉතා වැදගත්ය.
දිවා කාලයේදී අව්වේ වනන ලද වේළුණු රෙදි රැගෙන නිවෙස තුළට පැමිණිමේදි පමණක් නොව දවල් කාලයේ නිවසින් බැහැරකට ගොස් නිවෙස තුළට පැමිණිමේදී පවා නිවසේ ඉදිරිපස සෙවණ ඇති තැනක මඳක් රැඳීසිට නිවෙස තුළට පැමිණීම කොයි කාටත් හිතකරය. 


සිරිකත - 2012 අගෝස්තු 20
සටහනඃ තක්ෂලි හපුආරච්චි
තොරතුරු- ආචාර්ය කුමාරි තිලකරත්න (සම්බන්ධිකාරක- විද්‍යා ව්‍යාප්ති අංශය- මූලික අධ්‍ය්‍යන ආයතනය)

0 ප්‍රතිචාර:

Post a Comment

ලිපිය ගැන ඔබේ අදහසත් එකතු කරන්න...