ලෝකයේ ජීවත් වන ජීවී විශේෂ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක් වඳවීමේ තර්ජනයට
ලක්‌ව ඇති බව රහසක් නො වේ. මේ ජීවීන් ආරක්‌ෂා කර ගැනීම සඳහා ලෝකය පුරා
විද්‍යාඥයින් මෙන් ම පරිසරවේදීන් ද දරන්නේ දැඩි ප්‍රයත්නයකි. එහෙත් පවත්නා
තත්ත්වය අනුව ඇතැම් ජීවී විශේෂ ඇත්තේ වඳ වී යැමට ඉතා ආසන්න තත්ත්වයක ය. මෙවැනි
පසුබිමක් තුළ කුමන ජීවී විශේෂයක් වඳ වී යැමට කෙතරම් ආසන්නව සිටින්නේ ද යන්න
දැනගැනීමට හැකි නම් එය සංරක්‌ෂණය සඳහා ප්‍රයෝජනවත් බවට සැකයක් නොමැත.
විශේෂයෙන්, සංරක්‌ෂණ කටයුතු සඳහා යොදාගත හැකි සම්පත්, ශ්‍රමය හා මූල්‍ය
ප්‍රතිපාදන සීමා සහිත වන්නේ නම් මේ දැනුම භාවිතයෙන් වඩා සාර්ථක ලෙස සංරක්‌ෂණය
කළ හැකි විශේෂ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ හැකි ය.
මෙවැනි සුචියක් සකස් කිරීමට ඔස්‌ටේ්‍රලියානු පර්යේෂකයින් පිරිසක් විසින්
ප්‍රයත්නයක් දරා තිබේ. ඒ පිළිබඳව මෙන් ම එමගින් මතුවන වෙනත් කරුණු ගැන ද
සාකච්ඡා කිරීම වැදගත් බව අපි සිතුවෙමු.
'SAFE' සුචිය යනු කුමක් ද?
මේ නව සුචිය හඳුන්වා දී ඇත්තේ වඳ වී යාමෙන් වැළකීම සඳහා ජීවී විශේෂවල හැකියාවZZ
යන අරුත් දෙන SAFE (Species' Ability to Forestall Extinction) සුචිය යන නමිනි.
එය සකස් කර ඇත්තේ යම් ජීවී විශේෂයක් ස්‌වාභාවික පරිසරයේ පැවැතීම සඳහා අවශ්‍ය
අවම ගහනයේ ප්‍රමාණය හා වර්තමාන ගහනයේ ප්‍රමාණය භාවිත කිරීමෙනි. ඒ අනුව අදාළ
ජීවී විශේෂය අදාළ අවශ්‍ය අවම ගහනයට කෙතරම් සමීප ද යන්න මෙහි දී පෙන්වා දෙනු
ලැබේ. ඊට අදාළ දත්ත ලබා ගනු ලබන්නේ මෙතෙක් සිදු කර ඇති අධ්‍යයනවලිනි. මේ සුචිය
විවිධ ජීවී විශේෂවලට ඇති තර්ජනයේ තරම පිළිබඳව කරන විමසා බැලීමක් පමණක් නොව
වඳවීමෙන් ආරක්‌ෂා වීමට ඒ ජීවී විශේෂවලට ඇති අවස්‌ථාව ද පෙන්වා දෙයි.
මේ සුචිය සකස් කිරීම සඳහා ක්‌ෂීරපායි විශේෂ 95ක් පමණ ප්‍රමාණයක පිළිබඳ දත්ත
විශ්ලේෂණය කර ඇත. ඉන් සියයට විස්‌සක් පමණ වඳවීමට ආසන්න තත්ත්වයක ඇති බව ඉන්
අනාවරණය වී තිබේ. එසේම අධ්‍යයනයට ලක් වූ ක්‌ෂීරපායින් අතරින් අඩකටත් අධික
ප්‍රමාණයක ගහන ඇත්තේ සීමාකාරී අගය ඉක්‌මවා ගිය අවස්‌ථාවක ය. මේ සුචිය භාවිතයෙන්
ලබා ගත හැකි ප්‍රතිඵල පිළිබඳ නිදසුනක් මෙසේ ය. සුමාත්‍රානු රයිනෝසිරස් (Dicerorhinus
sumatrensis) හා ජාවා රයිනෝසිරස් (Rhinoceros sondaicus) සංසන්දනය
කළහොත් වඳවීමේ අවදානමෙන් ගලවා ගත හැකි තත්ත්වයක පසුවන්නේ සුමාත්‍රානු
රයිනෝසිරස් පමණි. තවත් නිදසුනකට අනුව ව්‍යාඝ්‍රයන්ට ආරක්‌ෂා වීම සඳහා
අවස්‌ථාවක් ඇතත් ඔවුන් පසුවන්නේ ද පෙර කී සීමාකාරී ලක්‌ෂ්‍යය පසුකළ අවස්‌ථාවක
ය.
මේ නව සුචිය සකස් කිරීම සඳහා මේ වන විට පුළුල් ලෙස භාවිත වන රතු ලේඛනයේ
(Redකසිඑ) ඇතුළත් දත්ත භාවිත කරනු ලැබේ. එහෙත් මේ සුචිය තුළ ඒ ඒ විශේෂය පිළිබඳව
ම තොරතුරු ලබාගන්නා අතර එහි ප්‍රමාණාත්මක දත්ත වැඩි ප්‍රමාණයක් ඇතුළත් වේ.
එසේම ශක්‍ය හෙවත් ප්‍රායෝගික ගහනයේ අවම ප්‍රමාණයට සාපේක්‌ෂව ජීවීන් මුහුණ පා
ඇති තර්ජනයේ තරම ඉන් පෙන්වා දෙනු ලැබේ. නිදසුනක් ලෙස ගතහොත් රතු ලැයිස්‌තුවේ
දැඩි අන්තරායක (Critically Endangered) තත්ත්වයේ පසුවන සියලූ ජීවීන් එක සමාන
තර්ජනයකට ලක්‌ව නොමැත. කෙසේ වෙතත් මේ සුචිය රතු ලේඛනයට අමතර හෝ අතිරේක මෙවලමක්
සේ හඳුන්වා දී තිබේ. මේ නිසා රතු ලේඛනය හා මේ නව SAFE සුචිය එක්‌ව භාවිත
කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබාගත හැකි බව පෙන්වා දී තිබේ. (මූලාශ්‍රය( Frontiers in
Ecology and the Environment,
DOI: 10.1890/100177)
මේ සුචියේ වැදගත්කම
මේ සුචියෙන් පෙනෙන්නේ වර්තමාන ප්‍රවණතාවය අනුව ලෝකයේ දැකිය හැකි ජීවී විශේෂ
සියල්ල ම රැකගැනීමට අපට නො හැකි වන බව විද්‍යාඥයින් විශ්වාස කරන බව ය. අප
පිළිගැනීමට අකැමැති වුවද මේ අප ඉදිරියේ ඇති යථාර්ථය විය හැකි ය. මේ සහස්‍රකය
ආරම්භයේ දී මහත් බලාපොරොත්තු සහගතව ඇති කරගත් සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ (Millenium
Development Goals) අතරින් ජෛව විවිධත්වය පිළිබඳ අභිමතාර්ථය ඒ ආකාරයෙන් ම ඉටු
කරගත නො හැකි වී ඇති බව පසුගිය වර්ෂයේ ලෝකය ම පිළිගන්නට යෙදුණි. ඉන් පෙනෙන්නේ ද
ජීවීන් සංරක්‌ෂණය කිරීමේලා අප පසුවන සත්‍ය තත්ත්වයයි. අප කෙතරම් දේ සාකච්ඡා කළ
ද පවත්නා යථාර්ථය වන්නේ වෙනත් සාධකවල බලපෑම නිසා පරිසරය හා ජෛව විවිධත්වය
දෙවැනි තැනකට වැටී ඇති බව ය.
ඒ අනුව අප සියලූ ජීවීන් රැකගැනීමට කෙතරම් කැමැත්තක් දැක්‌වුවත් තෝරා ගැනීමක්
සිදු කළ හැකි අවස්‌ථාවල දී මේ නව සුචිය වැදගත් බව පෙනේ. පෙර සඳහන් කළ පරිදි
සංරක්‌ෂණය සඳහා සීමිත සම්පත් හා ප්‍රතිපාදන ඇති අවස්‌ථාවක දී වැඩි සැලකිල්ලක්
දැක්‌විය යුතු වන්නේ කුමන විශේෂයක් පිළිබඳවදැයි තීරණය කිරීමට මේ සුචිය ඵලදායී
වේ. එහෙත් මෙහි ඇති කණගාටුදායක ම කරුණ වන්නේ මානව කටුයතු නිසා මේ ආකාරයෙන්
අවදානමකට පත්ව ඇති ජීවීන් අතරින් ආරක්‌ෂා කළ යුතු ජීවීන් තේරීම ද මිනිසා
විසින්ම සිදු කිරීම ය. මානව කේන්ද්‍රීය ක්‍රියාවලියක් වන මෙය ආචාරධර්මවලට
කෙතරම් එකඟ වේ ද? යන්න අපට ඇති ගැටලූවයි.
ඕසෝන් වියන නිවර්තන දේශගුණයට බලපායි
ඕසෝන් වියන හා දේශගුණය අතර ඇති මෙතෙක් එතරම් අවධානයකට ලක් නොවූ සම්බන්ධයක්
පසුගියදා පර්යේෂණයක් මගින් පැහැදිලි කර තිබේ. ඒ අනුව දක්‌ෂිණාර්ධගෝලයේ සමකය
දක්‌වා වූ විශාල ප්‍රදේශයක දේශගුණයේ වෙනස්‌වීම් ඇති කිරීම සඳහා ඇන්ටාක්‌ටික්
මහාද්වීපයට ඉහළ පවත්නා ඕසෝන් සිදුර හේතු වේ. ඒ ඉන් වායුගෝලීය සංසරණය කෙරේ ඇති
කරන බලපෑම් නිසා ය. මේ බලපෑම් නිසා දක්‌ෂිණාර්ධගෝලයේ ඉහළ ප්‍රදේශයේ (අඩු
අක්‌ෂාංශ සහිත ප්‍රදේශයේ) වර්ෂාපතනය ඉහළ යන බව පෙන්වා දී තිබේ.
මේ පර්යේෂණය සඳහා භාවිත කර ඇත්තේ ආකෘතික අධ්‍යයනයකි. ඒ අනුව පළමුව ඕසෝන්
සිදුරක් ඇති තත්ත්වයක් තුළ වායුගෝලයේ සිදුවන වෙනස්‌වීම් ගණනය කර ඇත. ඉන්පසුව
1979 සිට 2000 වර්ෂය දක්‌වා වූ දශක දෙකකට අධික කාලයක් තුළ වායුගෝලයේ ඇති වූ
සත්‍ය වෙනස්‌වීම් සමඟ මේ තත්ත්වය සංසන්දනය කර තිබේ. ඉන් පෙනී ගොස් ඇත්තේ ආකෘති
හා සත්‍ය නිරීක්‌ෂණ අතර ඇති සමානකමයි. මෙසේ සිදු වී ඇත්තේ දක්‌ෂිණාර්ධගෝලයේ
දැකිය හැකි ජෙට් ප්‍රවාහයක් (extratropical westerly jet) ධ්‍රැව දෙසට
ක්‍රමයෙන් තල්ලූවීමට මේ තත්ත්වය හේතු වී ඇති නිසා ය. එසේ වන්නේ උපනිවර්තන
ප්‍රදේශවල දැකිය හැකි අධික තෙතමනය සහිත ස්‌වභාවය නිසා බවට ද ඔවුන් තර්ක කර ඇත.
මේ නිසා දක්‌ෂිණාර්ධගෝලයේ උප-නිවර්තන ප්‍රදේශවල වර්ෂාපතනය ඉහළ ගොස් ඇති බව
ඔවුන් ගේ අවසන් නිගමනය වී තිබේ.
මේ අධ්‍යයනය ධ්‍රැව ප්‍රදේශයක වායුගෝලයේ ඉහළ ප්‍රදේශවල පවත්නා ඕසෝන් විනාශ වීමේ
බලපෑම් නිසා සමකය දක්‌වා වූ විශාල ප්‍රදේශයක දේශගුණයේ වෙනස්‌වීම් ඇති වන ආකාරය
පිළිබඳව පෙන්වා දෙන පළමු අධ්‍යයනය වේ. මෙතෙක් සිදුකරන ලද දේශගුණ වෙනස්‌වීම්
අධ්‍යයනවල දී ඕසෝන් ස්‌ථරයේ මෙවැනි බලපෑමක් ගැන එතරම් අවධානයක් ලැබී නොමැත.
වෙනත් ආකාරයකින් පවසන්නේ නම් ඕසෝන් ස්‌ථරයේ විනාශ වීම දේශගුණ පද්ධතියේ මෙතෙක්
සිතුවාට වඩා බලපෑමක් කළ හැක්‌කකි. එය දේශගුණ වෙනස්‌වීමට බලපාන සාධකයක් සේ
සැලකිය යුතු බව මේ අනුව පැහැදිලි ය.
මේ අතර මොන්ටි්‍රයල් සන්ධානයට ලැබුණු සාර්ථක ජගත් මට්‌ටමේ සහයෝගය හේතුවෙන් තවත්
දශක කිහිපයක් ඇතුළත ඕසෝන් සිදුර යළිත් සාමාන්‍ය තත්ත්වයකට පත් වනු ඇතැයි ද
අපේක්‌ෂා කරනු ලැබේ. මේ ආකාරයෙන් ඕසෝන් ස්‌ථරය ආපසු යථා තත්ත්වයට පත්වීමත් සමඟ
දේශගුණයේ දැකිය හැකි පෙර කී අසාමාන්‍ය ස්‌වභාවය යළිත් සාමාන්‍ය තත්ත්වයට පත්වේ
ද යන්න දැන් ඇති ගැටලූවයි. (මූලාශ්‍රය( Science,
DOI: 10.1126/science.1202131)
වැඩිම කාබන් ප්‍රමාණය සංචිත කරන කඩොලාන වනාන්තර
කඩොලාන වනාන්තර යනු පරිසරයට මෙන් ම මිනිසාට ද ප්‍රයෝජන රැසක් ලැබෙන ඉතා වැදගත්
පරිසර පද්ධතියකි. එපමණක් නොව දේශගුණ වෙනස්‌වීම සම්බන්ධව ද කඩොලාන වනාන්තර ඉතා
වැදගත් බව පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී තිබේ. ඉන් පැවසෙන්නේ ඒකක වර්ග
ප්‍රමාණයක් සැලකූ විට කඩොලාන වනාන්තරවල ගබඩා කළ හැකි කාබන් ඩයොක්‌සයිඩ්
ප්‍රමාණය ලෝකයේ සෙසු වනාන්තරවලට වඩා අධික බව ය.
ඉන්දු-පැසිෆික් කලාපයේ කඩොලාන වනාන්තර විසිපහක පමණ සංචිතව ඇති කාබන් ප්‍රමාණය
මේ අධ්‍යයනයේ දී අවධානයට ලක් වී ඇත. ඒ අනුව කඩොලාන හෙක්‌ටාරයක් තුළ සංචිත කළ
හැකි (රඳවා ගතහැකි) කාබන් ප්‍රමාණය වෙනත් නිවර්තන වනාන්තර මෙන් සිව් ගුණයක්
තරම් දක්‌වා ඉහළ විය හැකි ය. ඊට එක් හේතුවක් වන්නේ කාබනික ද්‍රව්‍ය සුලභ වූ
පස ය. එහි මුළු කාබන් ප්‍රමාණයෙන් 19% - 98% අතර ප්‍රමාණයක් තැන්පත්ව තිබේ.
කඩොලාන වනාන්තරවල මේ කාබන් සුලභතාවය නිසා ඒවා විනාශ වීම නිසා නිකුත්වන කාබන්
ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ද ඉහළ ය. මේ අධ්‍යයනයෙන් දක්‌වා ඇති පරිදි ලෝකයේ සමස්‌ත
වනාන්තර ප්‍රමාණයෙන් 0.7%ක් තරම් සුළු ප්‍රමාණයක් වන කඩොලාන වනාන්තර විනාශ
වීමෙන් වාර්ෂිකව නිකුත්වන කාබන් ඩයොක්‌සයිඩ් ප්‍රමාණය ලෝකයේ වනාන්තර විනාශ
වීමෙන් නිකුත්වන විමෝචනවලින් 10%ක් තරම් විය හැකි ය. මෙය කඩොලාන සංරක්‌ෂණයේ
ඇති වැදගත්කම යළිත් අවධාරණය කරයි. (මූලාශ්‍රය( Nature
Geoscience, DOI: 10.1038/ngeo1123)
මුහුදු මට්‌ටම 2100 දී මීටර 1.6ක් ඉහළට?
මුහුදු මට්‌ටම ඉහළ යාම දේශගුණ වෙනස්‌වීමේ බරපතළ ප්‍රතිවිපාකයකි. ඒ පිළිබඳව 2007
දී පළ වූ IPCC පුරෝකථනවලින් දක්‌වා ඇති මට්‌ටමට (2100 වන විට මීටර 0.18 හා 0.59
අතර) වඩා සත්‍ය තත්ත්වය ඉහළ විය හැකි බව පෙන්වා දෙන තවත් වාර්තාවක් පසුගිය
සතියේ ප්‍රකාශයට පත් විය. ආක්‌ටික් නිරීක්‌ෂණ හා ඇගැයීම් වැඩසටහන (AMAP) මගින්
ප්‍රකාශයට පත් කළ මේ වාර්තාවට අනුව 2100 වර්ෂය වන විට මීටර 0.9ත් 1.6ත් අතර
ප්‍රමාණයකින් මුහුදු මට්‌ටම ඉහළ යා හැකි ය.
මේ තත්ත්වය සඳහා ආක්‌ටික් ප්‍රදේශයේ වේගවත් දේශගුණ වෙනස්‌වීම හා ග්‍රීන්ලන්තයේ
ඇති අයිස් දියවීම හේතු වේ. පෙර සඳහන් කළ 2007 වර්ෂයේ ප්‍රකාශයට පත් අගයයට
ධ්‍රැව ප්‍රදේශවල අයිස් දියවීම නිසා සිදුවන මුහුදු මට්‌ටම ඉහළ යැම ඇතුළත් නො
වී ය. මේ තත්ත්වය වඩා බරපතළ ප්‍රතිවිපාක ඇති කළ හැකි බව පැහැදිලි ය.
(මූලාශ්‍රය( Snow,
Water, Ice and Permafrost in the Arctic
(SWIPA) 2011, www.amap.no/swipa/)
නගෝයා සන්ධානයට රටවල් 11ක් අත්සන් තබයි
ජානමය සම්පත්වලට ප්‍රවේශ වීම හා ප්‍රතිලාභ ලබාගැනීම පිළිබඳව නගෝයා සන්ධානය වසර
ගණනාවක් තිස්‌සේ රටවල් ගණනාවක් විසින් සාකච්ඡා කරනු ලදුව අවසානයේ දී
යථාර්ථයක් බවට පත් වූ සන්ධානයකි. ජෛව විවිධත්ව සම්මුතිය යටතේ එන මේ සන්ධානයට
2010 වර්ෂයේ දී එකඟතාව පළ විය. පසුගිය පෙබරවාරි මාසයේ සිට එය අත්සන් තැබීම සඳහා
විවෘතව තිබේ.
පසුගිය අප්‍රේල් මාසයේ අවසන් සතිය වන විට රටවල් 11ක් අත්සන් තබා තිබිණි. ඒ අතර
ඉන් වැඩි ප්‍රතිලාභයක් ලැබීමට අවස්‌ථාවක් ඇති ජෛව විවිධත්වය අතින් ඉහළ
තත්ත්වයක සිටින බ්‍රසීලය, කොලොම්බියාව වැනි රටවල් ද වේ. එසේම ඉන්දියාව වැනි
රටවල් කිහිපයකට ඊට අත්සන් තැබීම අවශ්‍ය ජාතික මට්‌ටමින් අනුමැතිය ලැබී ඇත.
රටවල් 50ක් සන්ධානය අපරානුමත කර අත්සන් තැබීමෙන් දින 90කට පමණ පසුව එය බලාත්මක
වේ. මේ ක්‍රියාවලියට සහාය ලබාදීම සඳහා ජගත් පරිසර පහසුකම යටතේ විශේෂ
ව්‍යාපෘතියක් ද මේ වන විට දියත් වී තිබේ.
Subscribe to:
Post Comments (Atom)
0 ප්‍රතිචාර:
Post a Comment
ලිපිය ගැන ඔබේ අදහසත් එකතු කරන්න...