19:07

විවිධ සතුන්, සමනළයන් හා සියොතුන් දැකීමට අපි ස්‌වාභාවිකව කැමැත්තක්‌ දක්‌වන්නෙමු. එය පරිසරය කෙරේ මිනිසා නිසගයෙන් දක්‌වන ආකර්ෂණයේ ශේෂයක්‌ සේ සැලකිය හැකි ය. ග්‍රාමීය හෝ නාගරික ප්‍රදේශයක සිටිය ද, අපේ ගෙවත්තේ පවා ඔවුන් දැකගැනීමට අපි කැමැත්තෙමු.

මේ ආකාරයෙන් ගෙවතුවලට ආකර්ෂණය වන සත්ත්ව විශේෂ අතර විවිධ පක්‌ෂි විශේෂ, සමනළයන් වැනි අපෘෂ්ඨවංශීන් ද ලේනුන් වැනි කුඩා ක්‌ෂීරපායින් ද වඩාත් සුලබ ය. පක්‌ෂීන් ගේ විචිත්‍රත්වය හා නාදයත්, සමනළයන් ගේ වර්ණවත් බවත්, ලේනුන් වැනි සතුන් ගේ හැසිරීමත් නිසා ඔවුන් අපේ ගෙවත්තට කිසිදු බාධාවකින් තොර ව පැමිණිය හැකි සත්ත්ව කාණ්‌ඩ අතරට වැටේ. එසේ ම කටුස්‌සන් වැනි තවත් හිතකර සතුන් බොහොමයක්‌ ද අපේ ගෙවතු ආශ්‍රිතව දැකගත හැකි ය. වඳුරන් හා රිලවුන් වැනි ඇතැම් සතුන් කරදරකාරී සේ සැලකීමට ඇතැමුන් පුරුදු වී සිටිය ද, ඔවුන් ද මිහි මව ගේ පරිසරයේ වාසය කිරීමට අයිතියක්‌ ඇති ජීවීන් වන බව අප අමතක නො කළ යුතු ය. මේ සියලු සතුන් වාසය කරන්නේ ඔවුන් ගේ ස්‌වාභාවික පරිසරයේ ය.

මේ නිසා ගෙවත්තක්‌ නිර්මාණයේ දී මෙන්ම පවත්වාගැනීමේ දී ද එවැනි සතුන්ට හිතකර ආකාරයෙන් එය නිර්මාණය කළ හැකි ය. එවැනි සරල ක්‍රියාකාරකම් කිහිපයක්‌ අද හරිත තීරයෙන් කෙටියෙන් විස්‌තර කරමු.





පොකුණක්‌ ඉදි කිරීම -

මිදුලේ ඇති අවකාශයට ගැලපෙන කුඩා පොකුණක්‌ ඉදි කිරීමෙන් ගෙවත්තට ආකර්ෂණයක්‌ මෙන්ම සතුන්ට ගැලපෙන වාසස්‌ථානයක්‌ ද සැලසිය හැකි ය. ඇතැම් පක්‌ෂි විශේෂ ස්‌නානය සඳහා පොකුණුවලට පැමිණෙන අතර උණුසුම අධික කාලවකවානුවල දී මේ තත්ත්වය සුලබ ය. එසේ ම මසුන් ඇති කිරීමට කැමැත්ත දක්‌වන අයට ද පොකුණු යෝග්‍ය වේ. කෙසේ වෙතත් පොකුණක්‌ මනාව නඩත්තු කිරීම සිදු කළ යුතු වන්නේ එය මදුරුවන් බෝ වීම සඳහා සුදුසු පරිසරයක්‌ විය හැකි නිසා ය. පොකුණේ ගප්පි වැනි මසුන් ඇති කිරීමෙන් මේ තත්ත්වය පහසුවෙන් වළක්‌වාගත හැකි ය. එසේ ම පක්‌ෂීන් සඳහා ම යොදාගත හැකි කුඩා උස්‌ තඨාක ද තිබේ.

ජල බඳුනක්‌ තැබීම -

ගෙවත්තේ ජල බඳුනක්‌ තැබීමෙන් පක්‌ෂීන් ගේ හා වෙනත් සතුන් ගේ ජල අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි ය. මෙය වඩාත් වැදගත් වන්නේ වියළි කාලගුණයක්‌ සහිත කාලවකවානුවල දී ය.

සතුන්ට ආහාර ලබා දීම -

පක්‌ෂීන් හා ලේනුන් වැනි සතුන්ට ආහාර ලබා දීම ද ගෙවත්තට ඔවුන් ආකර්ෂණය කළ හැකි ක්‍රමයකි. පැතලි ලෑල්ලක්‌, බෝතලයක්‌, බඳුනක්‌, වැනි යමක්‌ භාවිතයෙන් ආහාර දීම සඳහා තැනක්‌ පහසුවෙන් සකස්‌ කළ හැකි ය. නිවෙස්‌වල ඇති කරන බළලුන් වැනි සතුන් ගේ පහර දීම්වලට ලක්‌ නො වීම සඳහා කණුවක්‌ මත හෝ ගසක එල්ලෙන පරිදි මෙය පිහිටුවිය හැකි ය. පලතුරු, ධාන්‍ය හා බත් වැනි ද්‍රව්‍ය ද බොහෝ පක්‌ෂීන් ගේ හා ලේනුන් වැනි සතුන් ගේ ආහාර වේ.

කැදලි තැනීමට ස්‌ථාන ලබා දීම -

බොහෝ ගෙවතු ආශ්‍රිතව පක්‌ෂීන් කැදැලි තනනු දැකිය හැකි ය. කොණ්‌ඩ කුරුල්ලන් හා සූටික්‌කන් වැනි පක්‌ෂි විශේෂ නිවාස අභ්‍යන්තරයේ පවා කූඩු තැනීම දුලබ දසුනක්‌ නො වේ. පඳුරු සහිත ශාක පක්‌ෂීන් කූඩු තැනීමට යොදාගන්නා ශාක අතර වේ. මෙවැනි අවස්‌ථාවල දී අදාළ කූඩුවට බාධා නො වන ආකාරයෙන් කටයුතු කිරීම අපට ගත හැකි හොඳ ම පියවරයි.

මල් හා ගෙඩි සහිත වර්ග වැවීම -

සමනළයන් හා පක්‌ෂීන් ආකර්ෂණය කිරීම සඳහා යෝග්‍ය පියවරක්‌ වන්නේ පැණි හා ගෙඩි වර්ග ලබාගත හැකි මල් වැවීමයි. සමනළයන් සඳහා මල්පැණි සහිත මල් ඇති ශාක විශේෂ වැවීම වඩාත් යෝග්‍ය ය. ඇතැම් ගෙඩි වර්ග පක්‌ෂීන් ගේ ආහාර වන බැවින් ඒවා ද වගා කළ හැකි ය. එසේ ම බොහෝ ශාක පරාගණය කිරීමට හේතු වන මීමැස්‌සන්ට ද මෙය ප්‍රයෝජනවත් ය. කෙසේ වෙතත් මෙහි දී ආක්‍රමණික නො වන හා දේශීය ශාක විශේෂ යොදාගැනීම සඳහා අප හැකිතාක්‌ උත්සාහ කළ කළ යුතු ය. ඇතැම් මල් පිපෙන ශාක වර්ග මිනිසුන්ට අවශ්‍ය ඖෂධ හා ආහාර ද්‍රව්‍ය ද සපයයි. අපේ පරිසරය හොඳින් නිරීක්‌ෂණය කිරීමෙන් අදාළ ප්‍රදේශයට යෝග්‍ය මෙවැනි ශාක වර්ග මොනවා ද යන්න හඳුනාගත හැකි ය.

සමනළ කීටයන් ආහාර කරගන්නා ශාක වැවීම -

මෙය සමනළයන් මෙන්ම සලබයන් සඳහා ද වැදගත් වේ. මේ සතුන් කීට අවස්‌ථාවේ දී ආහාරයට ගන්නා ශාක අපේ ගෙවත්තේ වැවිය හැකි නම් එය ඉතා යෝග්‍ය ය. නිදසුනක්‌ ලෙස ගත හොත් බොහෝ ගෙවතුවල දැකිය හැකි කතුරුමුරුංගා ශාකය සමනළ විශේෂයක්‌ කීට අවස්‌ථාවේ දී ආහාරයට ගනී.